යටි හිත

නුඹේ ඉලක්ක පුවරුව… මගේ හදවතම වූ කල්හි… හරි වැරදි සියළු පහරවල්… ඉවසා දරාගෙන… නිහඬවම… දිරාපත්වෙන්නට… ධෛර්යය ලැබේවායි පතමි… මට..! #සුහාරා

පස්න පස්න පස්න

සුදු පාට හිම වැටුණු රුසියාවෙ ඉටිරුප් කඳු… සප්ත කන්‍යා වගේ… සීතලට මී දුම පෙරවා නොගන්නේ ඇයි… හැම විලක්ම වගේ… හෝ ගාන පොකුණත්… වළාකුළු වලට කැඩපතක් වෙන්නෙ ඇයි… අලියගෙ දිග නහයෙන් වතුර විද්දට… මගේ නහයට ඒව බැරි ඇයි… කොච්චරවත් වයස ගියාට… පොඩි කාලෙ අහපු ප්‍රෂ්න වලට… තාම උත්තර නැත්තෙ ඇයි… #සුහාරා

කෘතගුණ

ලේසුත් ගැටගහනකන්… බලං හිටපු ඒ මහත්තයා… ගාස්තුව වෙනුවට… දීපු පයිං පාරට වඩා… මට රිදුණෙ අම්මෙ… මං ගුටි කෑවෙ… මමම අඩිය හයි කරපු… සපත්තුවෙන් නිසයි… #සුහාරා

කනත්තක පිපුණ මල්

මළ හිරු ආයේ නොඑනා බව දැන පසු පස හරවා යන ඒ මහ දන දුටුවේ නෑ හුළඟට හිත කැළඹුන උන් අත්තෙන් මා බිමට වැටුණ බව මළකුණ වළලා ආයෙ නොඑන්නට සැදැහැති නෑයෝ බතට වඩින කල මිය ගිය උන් ළඟ වැටෙනා අරලිය සොහොනෙ උඩින් හල පොරවණයක් විය ඉඳ හිටලා මා බිමට වැටුණ කල සපත්තුවක් ඇත මා පාගන්නට සොහොනෙ…

නොහිතාම දෙවරක්

අතොරක් නැතිව ලබනා මිහිරක් හන්දා මතකෙන් ගියා හෙමිහිට කඳුළැලි නින්දා වරදක් කරන්නට හදවත බර හින්දා දෙවරක් නොහිතාම නුඹ වෙත හිත බැන්දා #සුහාරා

කල් යල් බලන්නෝ

සන්නසකි හෙට දිනට ගෙවුණු දිනයෙන් ගෙනෙන වන්නමකි සතුට පිරි හිත් පොකුරු තව තවන පන්දමකි ආදරය අඳුරකින් ලොව මුදන අන්දමකි අපි අපේ වෙන්න කල් යල් බලන #සුහාරා

අඩමාන ආදරේ

මී වදත් පරදවන කතාවෙනි විලංගුව දෑවැදිත් නැතුව අරගෙන යන්න පොරොන්දුව මූණ නොබලා කරන කතාවේ අඩංගුව මුලාවයි මුසාවයි පදම් කල පඩංගුව පාසි බැඳිලා ආදරෙන් දුන් ඉනාවක් ඇත හිතේ තාමත් දීසි පිරිලා නුඹම දුන් ඒ පොරොන්දුම තව රැඟුම් පෑවත් වාසි නැති දා පැන්න මුවගින් වචන නළියයි හිතේ තාමත් කාසි අහුරක දිස්නෙ අහුරයි ආදරේ වෙත යනෙන මාවත් #සුහාරා

තාමත්

වතාවක් දෙකක් නොව සිය දහස් වාරයක් හදි ගැහුණ නුඹේ සුවඳැති සුපෙම් සිනහවක් සියුමැළිම නුඹේ වදනින් පිපුණු එක හිතක් ඉන් මිදෙන්නට උනේ කලාදෝ මොන පවක් දුර ගියා වැඩියි අපි ආයෙ බෑ හැරෙන්නට ගොරහැඬියි දෑත දැන් බෑ සුමට කරන්නට රොන් ගන්ට නොගියනං නුඹ අනෙක් මල් වලට අදත් මං ආදරෙයි කියනවා නෙව නුඹට #සුහාරා

සමාවත් දීලා

කොනිත්තන්න තව හයියෙන් හිතේ හයිය එකතු කරං ඇහේ කඳුළු හිර කරගෙන හිනා වෙලා මම ඉන්නං ඇති උනාම කොනිත්තලා ඇවිදින් මං ළඟින් ඉඳං සමාව ඉල්ලන්න එපා සමාව දී ඉවරයි මං #සුහාරා

ඉඩෝරෙට තෑග්ගක්

එළිවෙන පාන්දර මී දුම් වළා රොදින් සියොළඟ කිති කවන අන්දම බලනු රිසින් අපි වාඩි වී පිළිසඳරක යෙදුණු බැවින් නොකියූ කතාවක් කීවා නුඹේ මුවින් පියඹා ඇදෙන සීතල සුළඟත් පරයා ඈතක ඉඳං මං ආවෙමි ඔබව සොයා ඒ රුව කෙටූ හද ගැඹුරේ දොර අරවා ඉල්ලා හඬපු සෙනෙහස අද මට ලැබුණා #සුහාරා

ආශාවරී

​විවර කල කවුළුවෙන්… පියඹ ආ තද සුළං… ඇවිත් හැපුණා හදිසියෙන්… සුළඟ වෙත නුඹ මුදා හල හාදුවෙන්… ගෙලේ පිපුණු හිරිගඩු තවමත් ඇත නැවුම්… නුඹ මුදා හැරපු හාද්දක් ඇවිත් ගෙලේ වැදුණා… රෑ නිදා උන් හැඟුම් එකින් එක පොපියන්නා… තරහකුත් සියුම් මගෙ හිතට පිවිසෙන්නා… ළඟට විත් මට නොදී නලට නුඹ හාදු දුන්නා… නුඹෙන් ගෙන ආ හාදු මට දී…

ඉරක්

​පෙණ නැගී නැගී එන රැළි අතරේ මගෙ දෙපා තෙමා ඇත මුදු සයුරේ හිත නිදා නිදා සිටි දැක අඳුරේ මට පෙරා එවා ඇත එළි අඹරේ #සුහාරා