First admirer

රීබොන්ඩ් කරගත් කොණ්ඩය වන වනා කඳු නගින්නට කලින්, කරන්නේ මොන රස්සාවදැයි තෝරාගන්නටත් කලින්, උසස් පෙළ විභාගයට පැයක් තියෙද්දී මහ පාර මැද නන්නාඳුනන ගැහැණියකට ප්‍රථමාධාර දෙන්නටත් කලින්, ගැස්ට්‍රයිටිස් වෙනුවට ඇපෙන්ඩිසයිටිස් යැයි වැරදීමකින් තියටර් එකට ගන්නටත් කලින්, පළවෙනිම අස්ථි භග්නයටත් කලින්, තුන්කුළුඳුල් පෙම් කවිය හිතට එන්නත් කලියෙන් අම්මලාගෙ ආදරේ හැරුණකොට වෙන කිසිම ආදරයක් ගැන නොදන්නා කාලයක් අනිත් හැමෝටම වගේ මටත් තිබුණා.

ඉත්තෑවෙකුට වඩා කූරු කල කොණ්ඩයත්, බැගී ඩෙනිම සහ ටී ෂර්ට් එකත්, සුදු පාට ඩෙක්ස් දෙකත් හැඳ කොල්ලන්ගේ ටිකට් කවුන්ටරයෙන් කාඩ් මාක් කරගෙන පංතියේ කොල්ලන්ගේ කොටසේ වාඩි වුණු කාලයක්…ගෙයින් එළියට බහිද්දී කරාබු ගලවා සාක්කුවේ දාගත් කාලයක්…අපේ කෙල්ලන්ගේම කොල්ලන්ව ඇවිස්සීමට කොල්ලෙක් ලෙස රඟ පෑ මං මේ කියන කාලය මම කොල්ලෙක්ම බව මටත් ඒත්තු ගැන්වී තිබුණ අවධියක්.

ලොකු බර්ත්ඩේ එකෙන් අවුරුද්දක් ගතවෙලා තිබුණත් කෙළි ගතියක් ඇහැ ගැටෙන මානයේ නොතිබුණු, වේයො කාපු කොණ්ඩ කට් එකට නිතර නිතර තාත්තගෙන් බැණුම් අහපු ඒ තමයි කිත්සිරි ජයසූරිය සර්ගෙ ඉංග්‍රීසි පංතියෙ මගේ ස්වර්ණමය යුගය.

මොන පවකටදෝ එදා මට වාඩි වෙන්න සිද්ද වුණේ කෙල්ලන්ගේ ප්‍රදේශයේ නිසා මගේ තිබුණේ සෙන්චරියට එක රන් එකක් තිබියදී අවුට් වී ගිය මූඩ් එකකි. ඉන්ටවල් එකේදී එළියට ගිය මම කණ කස කසා ආපහු එනකොට පාසලේ මගේ පංතියේම මිතුරියක් ඇඳුමෙන් ඇදගෙන මාව සෙනග මැදට අරන් ගියේ මගේ කැරළි ගැසුණු කාක් කූඩුවද අතින් හදනගමන්.

හෝල් එක දිහාවට වෙන්නට තිබූ උණ ගහ දිහාවෙන් ඇසුණු මගේ කොලු රැලේ කතා බහට එක් වෙන්නටද නොසිතුණෙන් මම ඉන්ටවල් එක ඉවර වෙන්නටත් කලින්ම පංතියට ගොස් බලා සිටියේ අනේ මුන්ට පැයක්වත් ඉන්ටවල් තිබුණානම් යන සිතිවිල්ලෙනි.

සුපුරුදු පරිදි කිත්සිරි සර් ස්ටේජ් එකේ යකඩ කටට කට තියා අපේ උන්ව පංතිය තුළට දක්කන්නට උත්සාහ කරනවා මම බලා හිටියේ හිස් හිතක් පපුව ඇතුළේ තියාගෙනය. එදා මගේ හිත එච්චරටම පාළු ගතියක් ගත්තේ ඇයිද යන්න අදටත් මට ප්‍රෂ්නයකි.

දාඩිය දමාගෙන රිළවුන් මෙන් කොණ්ඩා හද හදා එන කොල්ලනුත්, මේක් අප් අලුත් කරගත් කෙල්ලනුත්, පොෂ් ගණයට අහුවෙන ඉදිරි පෙළ සිට මැද පෙළ දක්වා වාඩිවෙන කෙල්ලනුත්, සුදට පේන ඕනෑම එකියකට ලයින් දමන්නාවූ විශාරදයනුත්, දැළි රැවුල වවාගන්නට ඩම් එක උපරිමයෙන් දමනා වයස දහතුනේ තාත්තලාගෙනුත් ටිකෙන් ටික පිරෙන පංතිය දිහා මම බලන් හිටියේ පට්ටම කම්මැළිකමකුත් එක්කය. පංතියේ සමහර දේවලට ආසා කලත් මෙලෝ වැඩක් නොකර අම්මාට හිතින් බැණ බැණ පංතියේ හිටි මගේ හිත හැදුණේ කිත්සිරි සර් හෝ පර්ල් මැඩම්ගේ හිනා මූණවල් ඇහැ ගැටෙන වෙලාවලදීම පමණි.

පංතිය ක්‍රමයෙන් පිරෙයි. එන එන එකා මගේ උරෙස්සේ හැපීගෙන එහෙ මෙහෙ යයි. හරි වැරදි බැලූ ඩික්ටේෂන් පොතද තවමත් බඩේ වියතක් ඇරන් පංතියට එන මිස් ගාවය. ලීටර් එකහමාරකට ඉඩ ඇති බලු කුරිය දෙස බලන්නට ඇති අප්පිරියාව නිසාම පේළියේ සියළුම ඩික්ටේෂන් පොත් ගන්නට වෙන එකෙක්ව යවා මම ස්ටේජ් එක දිහාම බලා උන්නෙමි.

අතට හීනි තට්ටුවක්…මම අහක බලාගෙනම පොත් ටික ගන්නට අත දික් කලෙමි…

“Thanks…”

අහක බලාගෙනම කියූ මම අතේ ගෑවුණ අතද නොසළකා පොතේ ඩික්ටේෂන් ලියපු පිටුව පෙරළාගන්නට දැඟලුවෙමි.

මොහොතකින් මම තිගැස්සුණේ යමක අඩුවක් දැණුන නිසාවෙනි…කෝ යකෝ පේළියෙ ඉතුරු පොත් ටික…
පොත ගෙනා එකා මොකාදැයි මම ඔලුව උස්සා බැලුවෙමි. එවිටම පොත් ගේන්නට ගිය එකී ගෙනා පොත් ගොඩක් මගේ මේසය මතට අතහැරියෙන් මගේ අවධානය ක්ෂණයෙන් ඒ වෙතට හැරී නැවතත් මට පොත දුන් එකාගේ ඡායාව වෙත හැරුණි…
කොල්ලෙක්…

මට පොත දීලා ඈතට වෙලා බලන් ඉඳලා මම බලද්දිම අහක බලාගත්තු කොල්ලෙක්…

කොල්ලෙක් යකෝ කොල්ලෙක්…
ඒත් ඇයි කොල්ලෙක් මගෙ පොත ගෙනාවෙ? අනිත් පොත් එක්ක ඒ පොත මගෑරුණාද? වෙන්න බෑ…මගෙ නම දන්නෙ කොහොමද පොත මටම ගෙනත් දෙන්න? ඔය ප්‍රෂ්න සියල්ලම මගෙ ඔලුවේ බයිසිකල් පැද්දේ ඩික්ටේෂන් පිටු අතර තිබුණු දේ දකිනතුරු පමණි.

කටු සටහනක්…සටහනක්ම නෙවෙයි…පැන්සලෙන් කටුවට ඇඳපු චිත්‍රයක්…මගේ උඩ සාක්කුවේ නිතර තියන iPod එක, මාස දෙකක් තිස්සේ ඇති නළලේ ප්ලාස්ටරය, එක කම්මුලක හිනා වෙනකොට හැදෙන සෙන්ටිමීටර් කාලේ වල, කූරු හදලා පැත්තට දාපු කොණ්ඩෙ, කොලර් නැති ටී ෂර්ට් කර, මහත ඇහි බැමි…

මේ පැන්සල් ඉරි ඇතුළෙ ඉන්නෙ මමද?

ඔව් ඒ මමම තමයි…
ඒත් ඇයි එයා ඒක පොත ඇතුළට දාල දුන්නෙ?
කොළේ අයිනෙ හීනියට තවත් පැන්සල් පාරක්…

I like your eyes. Don’t throw this.

දීල අතුරුදහන් වෙච්ච කෙනාව හොයන්න මම නැගිටින්න හැදුවත් පංතිය පටන්ගන්න ළමයි වාඩිකරවන්න දඟ දාපු සර් නිසා මට ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ.

දකින දකින වතාවක් ගාණේ හිත උණුසුම් කරන ඒ චිත්‍රය ඇඳලා, මගෙ අතට නොදී පොතක් හොයන් ගිහින් ඒක ඇතුළට දාලා, ස්තූතියක් ගන්නවත් ළඟ නොනැවතී, මට මූණවත් නොපෙන්වා ගියපු, මගෙ පළවෙනි චිත්‍රය ඇඳපු ඒ කලාකාරයාව හමුවෙන්න ආසාවක් අදටත් මට තියනවා.

ලියපු අකුරු නැතිවෙන්න පිංතූරෙ වටේ කපලා අදටත් මගෙ පොතක් ඇතුළෙ ඒ පිංතූරේ අධි ආරක්ෂිතව රැකිලා තියනවා.

#සුහාරා

Advertisements

2 Comments Add yours

  1. Ken says:

    Interesting.. keep writing.. 🙂

    Liked by 1 person

  2. Kriyeshi says:

    කොළු ඇදුමට යටපත් වෙලා හිටපු කෙළි හිත හෙල්ලෙන්න ඇති..

    Like

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s